නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 226 ක පමණ තොගයක් කල්පිටියේදි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කුඩාව වෙරළ ප්‍රදේශයේ අද දින (2024 ජුලි 17) සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් දෙසිය විසි හයක (226) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් අද දින (2024 ජුලි 17) කල්පිටිය කුඩාව වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ ළදු කැළෑවක් තුළ සඟවා තිබූ සැකකටයුතු උර හතක් (07) නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම උර තුළ අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් දෙසිය විසි හයක (226) පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

නාවික හමුදා මෙහෙයුම් හමුවේ රැගෙන යාමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරෙන, නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය, ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.