නීති විරෝධි ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝ ග්‍රෑම් 778 ක පමණ තොගයක් පුත්තලමේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2024 ජුලි මස 17 වන දින සවස් කාලයේ පුත්තලම, වෙල්ලමුන්දලම සිට කොලන්කනත්ත දක්වා වූ වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් හත්සිය හැත්තෑ අටක (778) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනය මඟින් පුත්තලම, වෙල්ලමුන්දලම සිට කොලන්කනත්ත දක්වා වූ වෙරළ ප්‍රදේශයේ, 2024 ජුලි මස 17 වන දින සවස් කාලයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ ළදු කැළෑවක් තුළ සඟවා තිබූ සැකකටයුතු උර විසි හයක් (26) නිරීක්ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී එම උර තුළ අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් හත්සිය හැත්තෑ අටක (778) පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදාව භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.