නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 189 ක පමණ තොගයක් සමඟ සැකකරුවෙක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කුඩාව වෙරළ ප්‍රදේශයේ අද දින (2024 ජුලි 21) සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් එකසිය අසූ නවයක (189) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින්, අද දින (2024 ජුලි 21) කල්පිටිය, කුඩාව වෙරළ ප්‍රදේශයේදී සෝදිසි මෙහෙයුමක් සිදු කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ උර හයක (06) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් එකසිය අසූ නවයක (189) පමණ තොගයක් එම ඩිංගි යාත්‍රාවෙන් ගොඩබෑමේදී, එම සැකකරු, බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 30 ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරු (01), බීඩි කොළ තොග‍ය සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා වයඹ පළාත් සුරාබදු විශේෂ ඒකකය වෙත භාරදීමට නියමිතව ඇත.