කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ගාල්ල සිට නාවික සැතපුම් 200 පමණ (කිලෝ මීටර් 370 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී රෝගාතුර වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව වෙත ලබාගැනීමෙන් අනතුරුව, අද දින (2024 ජුලි 24) සන්ධ්‍යාවේ ගොඩබිමට රැගෙනවිත් ප්‍රථිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

තංගල්ල ධීවර වරායෙන් 2024 ජුනි මස 09 වන දින ධීවරයින් හය දෙනෙකු (06) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “Suranga 04” (ලියාපදිංචි අංක IMUL-A- 2391 TLE) බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන්, එම ධීවරයා ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදු කෙරිණි.

ඒ අනුව, එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව,කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, රෝගාතුර වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයා මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව එම මුහුදු ප්‍රදේශය වෙත යොමු කෙරිණි. ඒ අනුව, රෝගාතුර වූ ධීවරයා එම නෞකාව වෙත ලබාගෙන මූලික ප්‍රථමාධාර ලබාදෙමින් අද දින (2024 ජුලි 24) සන්ධ්‍යාවේ ගාල්ල වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව, මෙලෙස ප්‍රථිකාර සඳහා කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා, නාවික හමුදාව නිරත්නතර සුදානමින් සිටියි.