නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1780 ක පමණ තොගයක් මීගමුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව දඩුගම කලපුවේ 2024 ජුලි මස 24 වන දින සවස් කාලයේදී සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් හත්සිය අසූවක (1780) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රා හයක් (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින්, 2024 ජුලි මස 24 වන දින සවස් කාලයේදී මීගමුව දඩුගම කලපුවේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී සැකකටයුතු ඩිංගි යාත්‍රා හයක් (06) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම එක් එක් ඩිංගි යාත්‍රා තුළ උර හැත්තෑ හයක (76) අසුරා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් හත්සිය අසූවක (1780) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රා හය (06) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 25 ක් සහ 41 ක් වන අලුත්කුරුව හා වෙන්නප්පුව ප්‍රදේශයන්හි පදිංචි කරුවන් බවට හඳුනාගත් අතර, නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් හත්සිය අසූවක (1780) පමණ තොගය සමඟ සැකකරුවන් දෙදෙනා (02) සහ ඩිංගි යාත්‍රා හය (06) ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව සුරාබදු දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කෙරිණි.