නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1276 ක තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය එරුමතිව් දූපතේ සහ එම මුහුදු ප්‍රදේශයේ 2024 ජුලි මස 26 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය හැත්තෑ හයක (1276) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයේ වරාය ආරක්‍ෂක ඒකකය, මැරීන් සාමාජිකයන් හා එක්ව ‍2024 ජුලි මස 26 වන දින කල්පිටිය එරුමතිව් දූපතේ සහ එම මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උරයක් (01) සහ එරුමතිව් දූපත් ප්‍රදේශයේ ළදු කැලෑවක් තුළ සැකකටයුතු ලෙස සඟවා තිබූ උර හතලිස් එකක් (41) නිරීක්‍ෂණ‍ය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම උර තුළ තිබී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය හැත්තෑ හයක (1276) තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා වයඹ පළාත් සුරාබදු විශේෂ ඒකකය වෙත භාරදීමට කටයුතු කෙ‍රිණි.

තවද, 2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් පමණක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් විසි හත්දාස් තුන්සිය තිහකට (27330) අධික තොගයක් නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.