නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 27 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව; ත්‍රීකුණාමලය කෝණේෂ්වරම් කෝවිල හා චැපල් තුඩුව ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හී 2024 ජුලි මස 27 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසි හතක් (27) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 ජුලි මස 27 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික තටාකාංගණය මඟින් ත්‍රීකුණාමලය, කෝණේෂ්වරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහ හත් දෙනෙකු (17) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2024 ජුලි මස 27 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා මහවැලි ආයතනය හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව ; ත්‍රීකුණාමලය, චැපල් තුඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහ දෙනෙකු (10) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 17 ත් 71 ත් අතර වයසේ පසුවන කින්නියා, නිලාවේලි, ත්‍රීකුණාමලය, මූතූර් සහ සාම්පූර් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, ඩිංගි යාත්‍රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න කොඩ්බේ සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත ඉදිරි නීතිමය කටයුතු සඳහා භාර දීමට කටයුතු කෙරිණි.