නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 749 ක පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව අද දින (2024 ජුලි 31) අළුයම් කාලයේ කල්පිටිය, උච්චමුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ආ වියලි කහ කිලෝග්‍රෑම් හත් සියය හතළිස් නවයක (749) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය, උච්චමුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින (2024 ජුලි 31) අළුයම් කාලයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම ඩිංගි යාත්‍රාවේ තිබී නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කල උර දහ හතක (17) අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 749 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව මෙලෙස නාවික හමුදාව භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 ක් සහ 44 ක් වන කල්පිටිය ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා (02), වියලි කහ කිලෝග්‍රෑම් 749 ක තොගය සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.