රුපියල් මිලියන 82 ක‍ට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් කිලිනොච්චිය ඉරණතිව් දූපතේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය, ඉරණතිව් දූපතේ 2024 අගෝස්තු 04 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම දූපතේ ලඳු කැලෑවක් තුල සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙසිය හතකට (207) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, බටහිර නාවික විධානය වෙතින් ලබාදුන් තොරතුරකට අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය, ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය හා එක්ව 2024 අගෝස්තු මස 04 වන දින කිලිනොච්චිය ඉරණතිව් දූපතේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, ‍එම දූපතේ ලඳු කැළෑවක් තුළ සඟවා තිබූ සැකකටයුතු උර හයක් (06) පරීක්ෂාවට ලක්කෙරිණි. එහිදී එම උර තුල පාර්සල් අනූ නවයක (99) අසුරන ලද කේරළ ගංජා කිලෝ 207 ග්‍රෑම් 020 ක තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන අසූ දෙකකට (82) අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලංකාවිල් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.