මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් මන්නාරම දකුණු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2024 අගෝස්තු මස 05 වන දින මන්නාරම දකුණු මුහුදේ, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් විසි දෙදෙනෙකු (22) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, 2024 අගෝස්තු මස 05 වන දින මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් වයඹ නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක්, බටහිර නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නෞකාවක් යොදවා සිදු කෙරිණි. එහිදී, මන්නාරම දකුණු මුහුදේ, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් විසි දෙදෙනෙකු (22) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක (02) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් විසි දෙදෙනා (22) කල්පිටිය ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.