නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2,068 ක් රැගත් ඩිංගි යාත්‍රා 03 ක් සමඟ සැකකරුවන් 06 ක් වයඹ මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව මන්නාරමට දකුණෙන්, වයඹ මුහුදේ, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 අගෝස්තු මස 09 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් හැට අටක (2,068) පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රා තුනක් (03) සමඟ සැකකරුවන් හයදෙනෙකු (06) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක සුරක්ෂා නෞකාව යොදවා, 2024 අගෝස්තු මස 09 වන දින මන්නාරමට දකුණෙන්, වයඹ මුහුදේ, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා තුනක් (03) නිරීක්ෂණ‍ය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රා තුළ තිබී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කල උර හැට දෙකක (62) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් හැට අටක (2,068) පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් හය දෙදෙනෙකු (06) සහ එම ඩිංගි යාත්‍රා තුන (03) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙ‍රිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 සහ 37 අතර වයසේ පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙදෙනා (06), බීඩි කොළ තොග‍ය සහ ඩිංගි යාත්‍රා තුන (03) ඉදිරි නීතිමය කටයුතු සඳහා වයඹ පළාත් සුරාබදු විශේෂ ඒකකය වෙත භාරදීමට කටයුතු කෙරිණි.