නීති විරෝධී ලෙස ඉන්දීය ධීවර යාත්‍රාවක් මඟින් වෙන්නප්පුව වෙරළ තීරයට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, වෙන්නප්පුව වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස ඉන්දීය ධීවර යාත්‍රාවක් මඟින් වෙන්නප්පුව තල් දෙක (කඩවත) ප්‍රදේශයට පැමිණ රහසිගතව ගොඩ බැසීමට උත්සහ කල ශ්‍රී ලාංකිකයෙකු, 2024 අගෝස්තු මස 10 වන දින සන්ධ්‍යාවේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, නාවික හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව, නීති විරෝධී ලෙස ඉන්දීය ධීවර යාත්‍රාවක් මඟින් වෙන්නප්පුව තල් දෙක (කඩවත) ප්‍රදේශයට පැමිණ රහසිගතව ගොඩ බැසීමට උත්සහ කිරීමේදී, වෙන්නප්පුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම හේතුවෙන් 2021 වර්ෂයේදී ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවෙකු බව අනාවරණය වී ඇත.

ඒ අනුව, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ ඉන්දීය ධීවර යාත්‍රාව සම්බන්ද වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු වෙන්නප්පුව පොලීසිය විසින් සිදුකරනු ලබයි.