බීඩි කොළ කිලෝ 2,689 ක් රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික සැකකරුවන් 03 ක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරමට දකුණෙන් කුදිරමලේ තුඩුවට ඔබ්බෙන්වූ වයඹ මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් හයසිය අසූ නවයක තොගයක් (2,689) (තෙත බර සහිත) රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික සැකකරුවන් තිදෙනෙක් (03) 2024 අගෝස්තු මස 12 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් යොදවා 2024 අගෝස්තු මස 12 වන දින සන්ධ්‍යාවේ, මන්නාරමට දකුණෙන් කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ වයඹ මුහුදේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කෙරිණි. එහිදී නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුල්වී තිබූ ඉන්දීය ඩව් යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කිරීමේදී, පාර්සල් 80 ක අසුරා නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් හයසිය අසූ නවයක (2,689) පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ එම ඉන්දීය ඩව් යාත්‍රාව සහ ඉන්දීය ජාතික සැකකරුවන් තිදෙනා (03) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ඩව් යාත්‍රාව, බීඩි කොළ තොගය සහ ඉන්දීය ජාතික සැකකරුවන් තිදෙනා (03) ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදීමට නියමිතව ඇත.

තවද, මෙම මෙහෙයුමත් සමඟ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ කිලෝ 37,619 ක් සමඟ සැකකරුවන් 32 ක් 2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් පමණක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට සමත්ව ඇත.