නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සමඟ සැකකරුවෙක් සිලාවතුරේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව සිලාවතුර, පුතුකුඩිරිප්පු ප්‍රදේශයේ අද දින (2024 අගෝස්තු 13) උදෑසන කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නිවසක් තුල අලෙවි කිරීමට සූදානම් කර තිබූ නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් හාරසිය අසූ දෙකක (482) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, අද දින (2024 අගෝස්තු 13) උදෑසන කාලයේ වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය, සිලාවතුර පොලීසිය හා එක්ව සිලාවතුර, පුතුකුඩිරිප්පු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම නිවස තුල අලෙවි කිරීමට සූදානම් කර තිබූ නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් හාරසිය අසූ දෙකක (482) තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වන සිලාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරු සහ මුහුදු කූඩැල්ලන් ගණනින් හාරසිය අසූ දෙකක (482) තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.