විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 09 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය කඩෙයිකාඩු වෙරළ ප්‍රදේශයේ සහ එම ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 අගෝස්තු මස 12 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් නවදෙනෙකු (09) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 අගෝස්තු මස 12 වන දින උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේනි නාවික ස්ථානගත කිරීම මඟින් කිලිනොච්චිය කඩෙයිකාඩු වෙරළ ප්‍රදේශයේ සහ කඩෙයිකාඩු හා පොන්නයිතොඩුවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල ධිවරයින් නව දෙනෙකු (09) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 23 ත් 50 ත් අතර වයසේ පසුවන කිලිනොච්චිය, මුල්ලියාන්, විශ්වමඩු, මන්නාරම, පේදුරුතුඩුව, තෙල්ලිප්පලේ සහ ගුරුනගර් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් සමඟ ඩිංගි යාත්‍රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත ඉදිරි නීතිමය කටයුතු සඳහා භාර දීමට කටයුතු කෙරිණි.