තලෙයිමන්නාරම වෙරළට ගසාගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 208 ක තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෙයිමන්නාරම ඌරුමලේ සහ පරණ පාලම වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව 2024 අගෝස්තු මස 11 සහ 12 දෙදින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, එම වෙරළ ප්‍රදේශ වෙත ගසාගෙන එන ලද බීඩි කොළ කිලෝ දෙසිය අටක (208) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය මඟින් ‍2024 අගෝස්තු මස 11 සහ 12 දෙදින තලෙයිමන්නාරම ඌරුමලේ සහ පරණ පාලම වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයට ගසාගෙන විත් තිබූ උර තුනක් (03) සහ පාර්සල් දෙකක් (02) පරීක්‍ෂා කෙරිණි. එහිදී එම උර සහ පාර්සල් තුළ අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් දෙසිය අටක (208) ක පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.