නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 748 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනේ ඉප්පන්තිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ වෙල්ලමුන්දලම වෙරළ ප්‍රදේශයේ 2024 අගෝස්තු මස 25 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 748.6 ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් ‍2024 අගෝස්තු මස 25 වන දින කල්පිටිය ඉප්පන්තිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ පාර්සල් 15 ක අසුරන ලද බීඩී කොළ කිලෝග්‍රෑම් 499 ක පමණ තොගයක් (තෙත බර සහිත) සහ එම විධානයේ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය විසින් වෙල්ලමුන්දලම වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළට ගොඩගසා තිබූ පාර්සල් 07 ක අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 249.6 ක පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය, ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.