උතුරු මුහුදේදී ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 02 ක් නාවික හමුදාව විසින් බේරාගනියි

ශ්‍රී ලංකාවට උතුරු දෙසින්, කච්චතිව් දූපතේ සිට නාවික සැතපුම් 08 ක් පමණ (කිලෝ මීටර් 14 ක් පමණ) දුරින් වූ ඉන්දීය මුහුදු කලාපයේදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙකු (02) නිරුපද්‍රිතව බේරා ගැනීමට අද දින (2024 අගෝස්තු 27) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

කච්චතිව් දූපතේ ශ්‍රී ලංකා නාවික හමුදා අනුඛණ්ඩය වෙතින් එම දූපතේ වෙරළ තීරයේ අද දින (2024 අගෝස්තු 27) උදෑසන සිදුකල පාමුර සංචාරයකදී එම වෙරළ තීරයට පිහිනා ආ පුද්ගලයෙකු නිරීක්‍ෂණය කෙරිණි. එම පුද්ගලයා ගෙන් සිදුකල කරනු විමසීමේදී, ඔහු ඉන්දීය ජාතික ධීවරයෙකු බවට අනාවරණය වූ අතර, ධීවර කටයුතු සිදුකරමින් සිටියදී මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් ධීවරයන් සිව්දෙනෙකු (04) රැගත් ඔවුන් පැමිණි ධීවර යාත්‍රාව මුහුදේ පෙරළී ආපදාවට පත් වීමෙන් කච්චතිව් දූපත දෙසට පිහිනා ආ බවත් කරුණු අනාවරණය විය.

ඒ අනුව, නාවික හමුදාව විසින් කච්චතිව් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ නාවික හමුදා යාත්‍රා යොදවා ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි ධිවරයින් මුදවා ගැනීම සඳහා සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරන ලද අතර, එහිදී එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් සිටි තවත් ධීවරයෙකු (01) මුදාගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාව විසින් මුදා ගත් ඉන්දීය ධීවරයින් දෙදෙනා (02) යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන අතර, ඔවුන් ඉන්දීය බලධාරීන් වෙත භාරදීමට අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින අතර, පවත්නා රළු මුහුදු ස්වභාවය හමුවේ වුවද, අනෙක් ඉන්දීය ධීවරයින් දෙදෙනා (02) සොයා කච්චතිව් දූපතට ඔබ්බෙන් වු මෙරට මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සෙවීම් සහ මුදවා ගැනීමේ මෙහෙයුම අඛණ්ඩව සිදුකරමින් සිටියි.

තවද, මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සඳහා කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින්, ඉන්දියාවේ චෙන්නායි සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දැනුවත් කිරීමද සිදුකෙරිණි.