නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 552 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනේ වෙරළ තීරය, මන්නාරමට ඔබ්බෙන් උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශය, ඩෙල්ෆ් දූපතේ උරිමුනායි හා වෙල්ලියල් සහ සිලාවතුර කොන්ඩච්චිකුඩා වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව 2024 අගෝස්තු මස 25 සහ 27 දෙදින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය පනස් දෙකකට (552) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් 2024 අගෝස්තු මස 25 වන දින කල්පිටිය උච්චමුනේ වෙරළ තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, වෙරළ දෙසට පාවෙමින් තිබූ උර දෙකක (02) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් පනස් පහක (55) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

එමෙන්ම, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය මඟින් ‍2024 අගෝස්තු මස 27 වන දින මන්නාරමට ඔබ්බෙන් උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ පාර්සලයක (01) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් හතලිහක (40) පමණ තොගයක් (තෙත බර සහිත), උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය මඟින් ඩෙල්ෆ් දූපතේ උරිමුනායි හා වෙල්ලියල් වෙරළ තීරයන් ආශ්‍රීතව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, වෙරළට ගසාගෙන විත් තිබූ පාර්සල් දොලහක (12) අසුරන ලද බීඩී කොළ කිලෝ 436 ග්‍රෑම් 700 ක පමණ තොගයක් (තෙත බර සහිත), සහ වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය මඟින්, සිලාවතුර කොන්ඩච්චිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී, එම වෙරළ දෙසට පාවෙමින් තිබූ පාර්සලයක (01) තුළ අසුරන ලද බීඩී කොළ කිලෝ 21 ග්‍රෑම් 200 ක පමණ තොගයක් (තෙත බර සහිත) ඇතුළුව බීඩි කොළ කිලෝ 552 ග්‍රෑම් 900 ක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය, ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.