නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1,076 කට අධික තොගයක් සමඟි ඩිංගි යාත්‍රා 02 ක් සහ තෙප්පමක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව ඩෙල්ෆ් දූපතේ උරිමුනේ වෙරළ තීරයේ සහ කල්පිටිය කුඩාව කලපු තීරයේ 2024 අගෝස්තු මස 28 වන දින සහ අද දින (2024 අගෝස්තු 29) සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් හැත්තෑ හයකට (1,076) අධික තොගයක් (තෙත බර සහිත) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ තෙප්පමක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය විසින් 2024 අගෝස්තු මස 28 වන දින ඩෙල්ෆ් දූපතේ උරිමුනේ වෙරළ තීරය ආශ්‍රීතව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, වෙරළට ගසාගෙන විත් තිබූ පාර්සලයක (01) අසුරන ලද බීඩී කොළ කිලෝ 34 ග්‍රෑම් 500 ක පමණ තොගයක් (තෙත බර සහිත), මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එසේම, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය විසින් අද දින (2024 අගෝස්තු 29) කල්පිටිය කුඩාව කලපු තීරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ තෙප්පමක් (01) නිරීක්‍ෂණ‍ය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රා දෙක සහ තෙප්පම තුළ තිබී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කල උර තිස් තුනක (33) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් හතලිස් දෙකක (1,042) පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ එම ඩිංගි යාත්‍රා දෙක (02) සහ තෙප්පම (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

තවද, ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇති අතර, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය, ඩිංගි යාත්‍රා දෙක (02) සහ තෙප්පම (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා වයඹ පළාත් සුරාබදු විශේෂ ඒකකය වෙත භාරදීමට නියමිතව ඇත.