කේරළ ගංජා සමඟ සැකකරුවෙකු කල්පිටියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව; පොලීසි හා එක්ව 2024 සැප්තැම්බර් මස 01 වන දින කල්පිටිය කුරිඤ්ඤපිඩ්ඩි සහ සින්නකොඩිරුප්පුව ප්‍රදේශයන්හි සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකක් (01) සමඟ සැකකරුවෙකු (01) සහ කැබ් රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය; පුත්තලම පොලිස් අපරාධ අංශය හා එක්ව 2024 සැප්තැම්බර් මස 01 වන දින කල්පිටිය කුරිඤ්ඤපිඩ්ඩි සහ සින්නකොඩිරුප්පුව ප්‍රදේශයන්හි සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, කුරිඤ්ඤපිඩ්ඩි ප්‍රදේශයේ තිබූ සැකකටයුතු කැබ් රථයක් පරීක්‍ෂවට ලක් කෙරිණි. එහිදී එම කැබ් රථයේ තිබී අලෙවි කිරීමට සූදානම් කළ කේරළ ගංජා ග්‍රෑම් 800 ක පමණ තොගයක්, සමඟ එම කැබ් රථය (01) සහ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි. අනතුරුව, සින්නකොඩිරුප්පුව ප්‍රදේශයේ පිහිටි එම සැකකරුගේ නිවස පරීක්‍ෂා කිරීමේදී කේරළ ගංජා ග්‍රෑම් 200 ක පමණ ප්‍රමාණයක් සහිත ඇසුරුමක්ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 01 ක ප්‍රමාණයේ දළ වීථි වටිනාකම රුපියල් ලක්‍ෂ හතරක් (04) පමණ වෙතැයි විශ්වාස කෙරේ.

තවද, නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 56 ක් වන කල්පිටිය, සින්නකොඩිරුප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරු (01) කේරළ ගංජා සහ කැබ් රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.