නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 843 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, හලාවත කලපුවේ මයික්කුලම ප්‍රදේශයේ 2024 සැප්තැම්බර් මස 04 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් අටසීය හතලිස් තුනකට (843) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය මඟින් 2024 සැප්තැම්බර් මස 04 වන දින හලාවත කලපුවේ මයික්කුලම ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම කලපු ප්‍රදේශයේ ලදු කැලෑවක් තුල සඟවන ලද උර විසි අටක (28) අසුරන ලද බීඩි කොළ කිලෝ 843 ග්‍රෑම් 950 ක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුමේදී බීඩි කොළ තොගය සමඟ තිබූ ඇමෝනියම් බයිකාබනේට් කිලෝ ග්‍රෑම් 25 ක උරයක්ද (01) නාවික හමුදා භාරයට ගත් අතර, බීඩි කොළ තොගය සහ ඇමෝනියම් බයිකාබනේට් සහිත උරය ඉදිරි නීතිමය කටයුතු සඳහා වයික්කාල සුරා බදු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.