නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1222 කට අධික තොගයක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව මීගමුව, කල්පිටිය සහ සිලාවතුර ප්‍රදේශ ආශ්‍රිතව 2024 සැප්තැම්බර් මස 07 වන දින සහ අද දින (2024 සැප්තැම්බර් 08) සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය විසි දෙකකට (1222) අධික තොගයක් (තෙත බර සහිත) සමඟ ලොරි රථයක් (01) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය මඟින් 2024 සැප්තැම්බර් මස 07 වන දින මීගමුව කලපු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂා කර, එම ඩිංගි යාත්‍රාවේ තිබූ උර හයක (06) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් එක්සීය පනහක (150) පමණ තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය, කල්පිටිය පොලීසිය හා එක්ව ‍අද දින (2024 සැප්තැම්බර් මස 08) කල්පිටිය අල්මන්නාරම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ නවතා තිබූ ලොරි රථයක, උර හයක (06) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් එකසිය අසූ පහක (185) පමණ තොගයක් සමඟ එම ලොරි රථය ද, විජය ආයතනය මඟින් කල්පිටිය සේරක්කුලිය හා සින්නඅරච්චි ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදේ පාවෙමින් තිබූ උර හයක (06) අසුරන ලද බීඩී කොළ කිලෝග්‍රෑම් එකසීය අනූ අටක (198) ක පමණ තොගයක් (තෙත බර සහිත), සහ මුහුදේ අතහැර දමන ලද ඩිංගි යාත්‍රාවක තිබී උර දහසයක (16) අසුරන ලද බීඩී කොළ කිලෝග්‍රෑම් පන්සීය හතලිස් අටක (548) ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය මඟින්, සිලාවතුර පන්ඩාරවෙලි වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී, එම වෙරළට ගසාගෙන විත් තිබූ උර දෙකක (02) අසුරන ලද බීඩී කොළ කිලෝ 141 ග්‍රෑම් 400 ක පමණ තොගයක් (තෙත බර සහිත) ඇතුළුව, බීඩි කොළ කිලෝ 1222 ග්‍රෑම් 400 ක පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය, ලොරි රථය (01) සහ ඩිංගි යාත්‍රා දෙක (02) මීගමුව සුරාබදු දෙපාර්තමේන්තුව, කල්පිටිය පොලිස් ස්ථානය, වයඹ පළාත් විශේෂ සුරාබදු ඒකකය සහ මන්නාරම සුරාබදු ස්ථානය වෙත ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදීමට කටයුතු කෙරිණි.