නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 371 ක පමණ තොගයක් සමඟ සැකකරුවෙකු නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව පුත්තලම කරඹ මාර්ග බාධකය අසලදී 2024 සැප්තැම්බර් මස 12 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සීය හැත්තෑ එකක (371) පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් (01) සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනය, නොරොච්චෝල පොලීසිය හා එක්ව 2024 සැප්තැම්බර් මස 12 වන දින පුත්තලම කරඹ මාර්ග බාධකය අසල සෝදිසි මෙහෙයුමක් සිදුකෙරිණි. එහිදී එම මාර්ග බාධකය ඔස්සේ ධාවනය කල සැකකටයුතු වෑන් රථයක් පරික්‍ෂාවට ලක්කිරීමේදී, එම වෑන් රථයේ ප්‍රවාහනය කරමින් තිබූ, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන උර එකොළහක (11) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සීය හැත්තෑ එකක (371) පමණ තොගයක් සමඟ එම වෑන් රථය (01) සහ සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙ‍රිණි.

තවද, මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27 ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරු (01), බීඩි කොළ තොගය සහ වෑන් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝල පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.