නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 18 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව කිලිනොච්චිය, කල්පිටිය සහ ත්‍රීකුණාමලය මුහුදු ප්‍රදේශයන්හි 2024 සැප්තැම්බර් මස 13 සහ 14 දෙදින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහ අට දෙනෙකු (18) සමඟ ඩිංගි යාත්‍රා නවයක් (09) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 සැප්තැම්බර් මස 13 සහ 14 දෙදින උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේනි නාවික ස්ථානගත කිරීම මඟින් කිලිනොච්චිය චලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල ධිවරයින් හත් දෙනෙකු (07) සමඟ ඩිංගි යාත්‍රා හතක් (07) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2024 සැප්තැම්බර් මස 14 වන දින වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය කලපුවේ උච්චමුණිය ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල ධිවරයින් හතර දෙනෙකු (04) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) හා නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීම සිදුකෙරිණි. 2024 සැප්තැම්බර් මස 14 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ යාත්‍රාවක් මඟින් ත්‍රීකුණාමලය කෝණේශ්වරම් කෝවිලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල ධිවරයින් හත් දෙනෙකු (07) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) හා නීති විරෝධී ධීවර ආම්පන්න අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම් මඟින් නීතියේ රැහැනට හසුකරගත් සැකකරුවන් අවුරුදු 18 ත් 61 ත් අතර වයසේ පසුවන වව්නියා, මුලිතිව්, යාපනය, කල්පිටිය, ත්‍රීකුණාමලය සහ කින්නියා යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් සමඟ ඩිංගි යාත්‍රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න යාපනය සහ පුත්තලම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත සහ කොඩ්බේ ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත ඉදිරි නීතිමය කටයුතු සඳහා භාර දීමට කටයුතු කෙරිණි.