නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 700 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ 2024 සැප්තැම්බර් මස 14 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හත්සීයක (700) පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් 2024 සැප්තැම්බර් මස 14 වන දින කල්පිටිය ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී මුහුදේ අතහැර දමන ලද සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක්කෙරිණි. එහිදී එම ඩිංගි යාත්‍රාවේ තිබී උර විසි දෙකක (22) අසුරන ලද බීඩී කොළ කිලෝග්‍රෑම් හත්සීයක (700) පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්‍රාව (01) මෙලෙස මුහුදේ අතහැර දමන්නට ඇතැයි සැකකෙරෙන අතර, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්‍රාව (02) ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් සුරක්‍ෂිතව නාවික හමුදාව භාරයේ තබා ඇත.