නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 02 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, චුන්ඩිකුලම් මුහුදු ප්‍රදේශයෙහි 2024 සැප්තැම්බර් මස 16 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 සැප්තැම්බර් මස 16 වන දින උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේනි නාවික ස්ථානගත කිරීම මඟින්, චුන්ඩිකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකෙරිණි. එම සෝදිසි මෙහෙයුමේදී, විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල ධිවරයින් දෙදෙනෙකු (02) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 40 ක් සහ 41 ක් වන, කොන්නාන්තිව් සහ මුල්ලියාන් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර; එම සැකකරුවන්, ඩිංගි යාත්‍රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.