කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී අනතුරට පත්වූ, මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක් වෙත ලබාගැනීමෙන් අනතුරුව, අද දින (2024 සැප්තැම්බර් 18) ගොඩබිමට රැගෙනවිත් ප්‍රථිකාර සඳහා කොළඹ, ජාතික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

වෙනනප්පුව ධීවර වරායෙන් 2024 ජුලි මස 17 වන දින ධීවරයින් හත් දෙනෙකු (07) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “Beula 02” (ලියාපදිංචි අංක IMUL-A- 0954 CHW) නමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු, ධීවර කටයුතු සිදුකරමින් සිටියදී මත්ස්‍යයෙකු සපාකෑමෙන් තුවාල ලබා අසාධ්‍යව ඇති බවත්, එම ධීවරයා වෙත ප්‍රථිකාර කිරීම සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදු කෙරිණි.

ඒ අනුව, එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයා මුදවා ගැනීම සඳහා සහය වන ලෙස, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ගමන් ගත් ‘MT Kiel Express’ නැමැති විදේශීය නෞකාව‍‍ දැනුවත් කෙරිණි.

ඒ අනුව, අනතුරට පත් වූ ධීවරයා ‘MT Kiel Express’ නෞකාව වෙත ලබාගැනීම සිදු කෙරුණු අතර, මූලික ප්‍රථමාධාර ලබාදෙමින් අද දින (2024 සැප්තැම්බර් 18) උදෑසන කෞළඹ වරාය ආසන්නයට රැගෙන ඒමෙන් අනතුරුව, බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා රෝගී ධීවරයා කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් මෙලෙස ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා, නාවික හමුදාව නිරත්නතර සුදානමින් සිටියි.