නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 2 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ 2024 සැප්තැම්බර් මස 17 වන දින රාත්‍රී කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන භාණ්ඩ ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය නිරන්තර ආවේක්‍ෂණය කරමින් අඛණ්ඩව මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් 2024 සැප්තැම්බර් මස 17 වන දින කල්පිටිය උච්චමුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණ‍ය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රාවේ තිබූ උර එකොළහක (11) අසුරන ලද නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කෘමිනාශක තොගය, සැකකරුවන් දෙදෙනා (02) සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.