පුත්තලම කලපුවේ ඉප්පන්තිව් දූපත අසළ අතරමංව සිටි තල්මසෙකු නාවික හමුදා සහයෙන් නිරුපද්‍රිතව සාගරයට මුදාහැරේ

පුත්තලම කලපුවේ, ඉප්පන්තිව් දූපතට ඔබ්බෙන් වූ වෙරළ තීරයේ අතරමංව සිටි මින්කිවේල් වර්ගයේ අඩි 20 ක් පමණ දිගින් යුත් තල්මසෙකු නැවත නිරුපද්‍රිතව ගැඹුරු මුහුද වෙත මුදා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2023 අගෝස්තු 08) කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානයේ ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවක් අද දින (2023 අගෝස්තු 08) උදෑසන පුත්තලම කලපුවේ මුර සංචාරයේ යෙදී සිටියදී, එම කලපුවේ, ඉප්පන්තිව් දූපතට ඔබ්බෙන් වූ වෙරළ තීරයේ අතරමංව සිටි තල්මසෙකු නිරීක්‍ෂණය කරන ලදී. අනතුරුව, වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව මේ සම්බන්ධයෙන් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කර එම තල්මසා ගැඹුරු මුහුදට යොමු කිරීම සඳහා ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයට අයත් විශේෂ කණ්ඩායමක් යෙදවීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයට අයත් කණ්ඩායම විසින් වනජිවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හා නාරා ආයතනයේද සහයෝගය ඇතිව මහත් පරිශ්‍රමයක් යොදා එම තල්මසා මෙලෙස නිරුපද්‍රිතව ගැඹුරු මුහුද වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.