හක් බෙල්ලන් 2137 ක් සමඟ සැකකරුවෙක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය පරාමුනේ ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේදී 2025 ජනවාරි මස 14 වැනි දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස ඩිංගි යාත්‍රාවක් මඟින් ප්‍රවාහනය කරමින් තිබූ අනුමත ප්‍රමාණයට වඩා කුඩා හක් බෙල්ලන් ගණනින් දෙදහස් එකසිය තිස් හතක (2137) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, 2025 ජනවාරි මස 14 වැනි දින වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය කල්පිටිය පරාමුනේ ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේදී සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රාවේ නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ උර පහලවක් (15) තුළ අසුරණ ලද අනුමත (වට ප්‍රමාණය සෙන්ටි මීටර් 07 අඩු) ප්‍රමාණයට වඩා කුඩා හක් බෙල්ලන් ගණනින් දෙදහස් එකසිය තිස් හතක (2137) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 33 ක් වන කල්පිටිය මණ්ඩල්කුඩා ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරු, හක් බෙල්ලන් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතීමය කටයුතු සඳහා පුත්තලම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.