මත්පෙති තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අනුරාධපුරයේ දී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව, 2025 ජනවාරි මස 15 වැනි දින අනුරාධපුරය, රඹෑව ප්‍රදේශයේදී සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති එකසීය හතලිස් පහක (145) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) රඹෑව ඉන්ධන පිරවුම් හල අසලදී නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනය අනුරාධපුර පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව, අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, රඹෑව ඉන්ධන පිරවුම් හල අසල සිටි සැකකටයුතු පුද්ගලයින් පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති එකසීය හතලිස් පහක (145) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 ක් වන සාලියපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (02) සහ මත්පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මිහින්තලේ පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.