රුපියල් මිලියන 43 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 04ක් යාපනය මණ්ඩතිව් සහ පල්ලෙකුඩා ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය මණ්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ, ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව යාපනය පූනරීන්, පල්ලෙකුඩා වෙරළ ප්‍රදේශයේ 2025 ජනවාරි 20 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසිය අටකට (108) අධික තොගයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) සහ ඩිංගි යාත්‍රාවක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද හා වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයට ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය මඟින් කුඩා යාත්‍රා යොදවා මණ්ඩතිව් දකුණු මුහුදු ප්‍රදේශයේ 2025 ජනවාරි මස 20 වැනි දින අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී කේරළ ගංජා ප්‍රවාහනය කළ බවට සැක කෙරෙණ එම ඩිංගි යාත්‍රාව සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. අනතුරුව, වේළුසුමන ආයතනය, යාපනය පොලිස් අපරාධ විමර්ශන කාර්යංශය හා එක්ව, යාපනය පූනරීන්, පල්ලෙකුඩා වෙරළ ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ අතහැර දමා තිබූ ධීවර නිවස්නයක සූක්‍ෂම ලෙස සඟවා පාර්සල් හතලිස් හතරක (44) අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 108 ග්‍රෑම් 46 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන හතලිස් තුනකට (43) අධික වෙතැයි විශ්වාස කෙරේ. එමෙන්ම, කේරළ ගංජා ප්‍රවාහනය කළ බවට සැක පිට මණ්ඩතිව් දකුණු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා (02) වයස අවුරුදු 39 ක් සහ 41 ක් වන යාපනය ගුරුනගර් හා මල්ලඩි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, පූනරීන් පල්ලෙකුඩා වෙරළ ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (02) වයස අවරුදු 35ක් සහ 47ක් වන පූණරීන් හා මන්නාරම ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

තවද, මෙම මෙහෙයුම මඟින් නීතියේ රැහැනට හසුකරගත් සැකකරුවන් සිව්දෙනා (04) කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව (01), ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය පොලිස් අපරාධ විමර්ශන කාර්යංශය මඟින්, යාපනය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.