නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1289ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටිය කීරමුන්දලම ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනේ, කීරමුන්දලම වෙරළ සහ මුහුදු ප්‍රදේශයේ 2025 ජනවාරි මස 20 වැනි දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය අසූ නවයක (1289) තොගයක් (තෙත බර සහිත) සමඟ ඩිංගි යාත්‍රාවක් (01), වල්ලම් යාත්‍රා දෙකක් (02), ට්‍රැක්ටර දෙකක් (02) සහ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අයත් උච්චමුනෙයි නාවික අනුඛණ්ඩය මඟින්, 2025 ජනවාරි මස 20 වැනි දින රාත්‍රී කාලයේ, කල්පිටිය උච්චමුනේ කීරමුන්දලම මුහුදු සහ වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ තීරයේ තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණ‍ය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රාව තුළ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ උර විසි එකක (21) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් හයසිය පනස් හතරක (654) පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ එක් (01) සැකකරුවෙක් සහ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රුණු අතර, එම බීඩි කොළ තොගය ගොඩබිමට ප්‍රවාහනය කිරීමට පැමිණි බවට සැක කෙරෙණ ට්‍රැක්ටර දෙකක් (02) එහිදී නාවික හමුදා භාරයට ගැනීම සිදු කෙරිණි.

එමෙන්ම, එම මෙහෙයුමට සමගාමීව විජය ආයතනය මඟින් කුඩා යාත්‍රා යොදවා කීරමුන්දලම මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, උර දහ අටක (18) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් හයසිය තිස් පහක (635) පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් වල්ලම් යාත්‍රා දෙකක් (02) සමඟ එක් (01) සැකකරුවෙක්ද එහිදී නාවික හමුදා භාරයට ගැනීම සිදු කෙරිණි

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 ක් සහ 43 ක් වන කල්පිටිය සහ මණ්ඩලකුඩා යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් දෙදෙනා (02), බීඩි කොළ තොග‍ය, ඩිංගි යාත්‍රාව (01), වල්ලම් යාත්‍රා දෙක (02) සහ ට්‍රැක්ටර දෙක (02) ඉදිරි නීතිමය කටයුතු සඳහා වයඹ පළාත් සුරාබදු විශේෂ ඒකකය වෙත භාරදීමට නියමිතව ඇත.