දේශිය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන්වූ උතුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් එකොලොස් දෙනෙකු (11) අද (2025 මාර්තු 27) අළුයම් කාලයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් දේශීය ජල තීරයට ඇතුළු වී විදේශිය ධීවරයි විසින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, 2025 මාර්තු මස 26 වැනි දින රාත්‍රී කාලයේ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ දේශීය ජල තීරයට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා දේශීය ජල තීරයෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, නාවික හමුදා යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, තව දුරටත් දේශීය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදු කරමින් රැඳී සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) වෙත නාවික හමුදාව නිත්‍යානුකූලව ගොඩවී පරීක්‍ෂා කර, එම ඉන්දීය ධීවර යාත්‍රාව (01) සමඟ ඉන්දීය ධීවරයින් එකොලොස් දෙනෙකු (11) මෙලෙස අද (2025 මාර්තු 27) අළුයම් කාලයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එහිදි නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව නාවික හමුදාවේ නිත්‍යාණුකූල නියෝග වෙත අනුකූලතාවය දක්වා ඇත.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව (01) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් එකොලොස් දෙනා (11) කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.