දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබු වෙළඳ නෞකාවක රෝගී වූ කාර්යය මණ්ඩල සාමාජිකයෙකු ගොඩබිමට රැගෙනවිත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගාල්ල සිට නාවික සැතපුම් 63ක් (කිලෝ මිටර් 116ක් පමණ) දුරින් වූ මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබු MV AE Neptune නැමැති නෞකාව තුළ සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් වැඩිදුර වෛද්‍ය ප්‍රථිකාර අවශ්‍ය වූ එම නෞකාවේ කාර්ය මණ්ඩලයට අයත් චීන ජාතිකයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, කඩිනමින් ගොඩබිමට රැගෙනවිත්, රෝහල් ගත කිරීමට නාවික හමුදාව විසින් අද (2025 මාර්තු 30)කටයුතු කෙරිණි.

දකුණු මුහු‍ද ඔස්සේ යාත්‍රා කරමින් තිබූ MV AE Neptune නැමැති නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු එන්ජින් කාමරයේ දී මුහුණ දුන් හදිසි අනතුරක් මත වැඩිදුර වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමු කල යුතු බවත්, එම රෝගියා ප්‍රථිකාර කිරීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙසත්, එම නෞකාව වෙතින් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදු කෙරිණි. එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, එම රෝගියා ගොඩබිමට රැගෙන ඒම සඳහා වෛද්‍ය කණ්ඩායමක් සමඟ නාවික හමුදා යාත්‍රාවක් පිටත් කිරීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, MV AE Neptune නෞකාවෙන් ගාල්ල වරාය ආසන්නයේදී, එම රෝගියා නාවික හමුදා යාත්‍රාව වෙත ලබාගැනීම සිදු කෙරුණු අතර, නාවික හමුදාව විසින් මූලික ප්‍රථමාධාර ලබාදෙමින් එම රෝගියා කඩිනමින් ගාල්ල වරායට රැගෙනවිත් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට අද (2025 මාර්තු 30) කටයුතු කෙරිණි.

තවද, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් කළාපය තුල ආපදාවට පත්වන ධීවර හා නාවික ප්‍රජාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරන්තර සූදනමින් සිටියි.