රුපියල් මිලියන 23 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කංසා තොගයක් සමඟ සැකකරුවන් 04ක් පේදුරුතුඩුවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ 2025 නොවැම්බර් මස 01 දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කංසා කිලෝ ග්‍රෑම් එකසිය පහක (105) පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) හා එක් සැකකාරියක් (01) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

‘රටම එකට’ ජාතික මෙහෙයුම සහ ‘මතින් තොර රටක් - නිරෝගී පුරවැසි දිවියක්’, යන දැක්මට සමගාමීව, මත්ද්‍රව්‍ය උවදුරෙන් අනාගත පරපුර මුදාගැනීමේ ජාතික කර්තව්‍ය සඳහා දායකවන නාවික හමුදාව, දිවයින වටා වෙරල සහ දේශීය ජල තීරය නිරන්තර ආවේක්‍ෂණය කරමින් මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්‍ර කර ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත නාවික ස්ථානගත කිරීම පේදුරුතුඩුව අනුඛණ්ඩය සහ පේදුරුතුඩුව පොලීසිය එක්ව, සුපර්මඩම් වෙරළ ප්‍රදේශයේ සහ පල්ලයි මුල්ලියාවලයි ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුම් මඟින් කංසා ජාවාරම් කල බවට සැකකෙරෙන පුද්ගයන් තිදෙනෙක් (03) සහ ඒ සදහා යොදාගත් ඩිංගි යාත්‍රා දෙකක් සහ එම ප්‍රදේශයේ නිවසක්තුල සඟවා තිබූ කංසා කිලොග්‍රෑම් 105ක පමණ තොගයක් සමඟ එක් සැකකාරියක් මෙලෙස නිතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නිතියේ රැහැනට හසුකරගත් සැකකරුවන් හා සැකකාරිය වයස අවුරුදු 25ක් සහ 41ක් වන යාපනය පේදුරුතුඩුව සුපර්මඩම් ප්‍රදේශයේ පදිංචිකරුන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් හා සැකකාරිය, කංසා තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.