නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ සහ එනසාල් තොගයක් සමඟ සැකකරුවන් 02ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම මාම්පූරි වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2026 මාර්තු මස 15 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් දෙකකට (1002) අධික තොගයක් (තෙත බර සහිතව) සහ එනසාල් කිලෝ ග්‍රෑම් එකසිය දහසයක (116) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්නි ආයතනය මඟින්, පුත්තලම මාම්පූරි වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් දෙකකට (1002) අධික තොගයක් (තෙත බර සහිතව) සහ එනසාල් කිලෝ ග්‍රෑම් එකසිය දහසයක (116) පමණ තොගයක් රැගත් එම ඩිංගි යාත්‍රාව (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 40ක් සහ 52ක් වන පුත්තලම මාම්පූරි හා තලවිල ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, බීඩි කොළ තොගය, එනසාල් සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.