Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

දේශමාන්‍ය ජෙනරාල් ඩෙනිස් පෙරේරා වාර්ෂික අනුස්මරණය 12 වන වරටත් උත්කර්ෂවත් ලෙස පවත්වයි

12 Aug 2026

විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා‍ ගුණානුස්මරණ උත්සවය දොලොස්වන (12) වරටත්, 2026 අගෝස්තු මස 11 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් රත්මලාන, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ගුණානුස්මරණ දේශණය නාවික හමුදාධිපති විසින් සිදු කෙරිණි.

විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමයේ ආරාධනයෙන් මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ නාවික හමුදාධිපති පිළිගැනීම, විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමයේ සභාපති මේජර් ජෙනරාල් එම්පීඑස් චන්ද්‍රපාල (විශ්‍රාමික), රියර් අද්මිරාල් ඒවී අබේසේන (විශ්‍රාමික), එයාර් වයිස් මාර්ෂල් කේ යහම්පත් (විශ්‍රාමික), රියර් අද්මිරාල් ඩබ්එම්පීඑල් වීරසිංහ (විශ්‍රාමික), රියර් අද්මිරාල් ඇන්ඩෘ විජේසිංහ (විශ්‍රාමික) ඇතුළු එම සංගමයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර විසින් සිදුකිරීමෙන් අනතුරුව, ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා ගුණානුස්මරණ උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි. අනතුරුව, විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමයේ සභාපති විසින් පිළිගැනීමේ කථාව සිදුකර දොළොස්වන (12) ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා ගුණානුස්මරණ උත්සවයේ ප්‍රධාන දේශණය සිදුකිරීම සඳහා සභාව වෙත නාවික හමුදාධිපති හඳුන්වා දීම සිදු කෙරිණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අටවැනි (08) යුද්ධ හමුදාධිපතිවරයා ලෙස අභිමානවත් සේවයක් ඉටු කළ දිවංගත ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය දේපළ හා භූමිය සපයා ගැනීම වෙනුවෙන් ඉටු කළ පුරෝගාමී හා සුවිශේෂී මෙහෙවර හේතුවෙන්, එම විශ්වවිද්‍යාලයේ නිර්මාතෘවරයා ලෙස ගෞරවයෙන් සැලකේ. එතුමාගේ එම දූරදර්ශී මෙහෙවර සහ ආදර්ශවත් නායකත්වය අනුස්මරණය කරමින් වාර්ෂිකව මෙම දේශනය සංවිධානය කරනු ලබයි.

මෙවර අනුස්මරණ දේශනය ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් ‘අපගේ වගකීම: අනාගතයට සූදානම් නාවික හමුදාවක් ගොඩනැගීම’ (OUR WATCH: BUILDING A FUTURE-READY NAVY) යන තේමාව යටතේ පවත්වන ලදී. එහිදී ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරාගේ විශිෂ්ට සේවා උරුමය සිහිපත් කළ නාවික හමුදාධිපති, ශ්‍රේෂ්ඨ නායකයන් මතකයේ රැඳෙන්නේ ඔවුන් දැරූ තනතුරු හේතුවෙන් නොව, ඔවුන් ශක්තිමත් කළ ආයතන, පෝෂණය කළ නායකත්ව ගුණාංග සහ අනාගත පරපුර වෙත දායාද කළ වටිනාකම් හේතුවෙන් බව ප්‍රකාශ කළේය.

අනාගත අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා කඩිසරභාවය, විශ්වසනීයත්වය සහ උපායමාර්ගික අදාළත්වය මත පදනම් වූ අනාගතයට සූදානම් නාවික හමුදාවක් ගොඩනැගීමේ අවශ්‍යතාව අවධාරණය කළ නාවික හමුදාධිපති, කෘත්‍රිම බුද්ධිය ඇතුළු නව තාක්ෂණයන් වැදගත් වුවද, නායකත්වයේ විනිශ්චය, අවංකභාවය සහ මානුෂීය ගුණාංග කිසිදු තාක්ෂණයකට ප්‍රතිස්ථාපනය කළ නොහැකි බවද පැවසීය. තවද, වෙනස්කම් කල්තියා හඳුනාගෙන දුරදක්නා දැක්මකින් යුතුව කඩිනමින් ක්‍රියා කිරීමේ වැදගත්කම පෙන්වා දුන් නාවික හමුදාධිපති, නාවික හමුදාවේ වගකීම පරපුරෙන් පරපුරට පැවරෙන උදාර රාජකාරියක් බවත්, අනාගත පරපුර වෙත වඩාත් කාර්යක්ෂම හා ජාතියේ විශ්වාසයට පාත්‍ර වූ නාවික හමුදාවක් දායාද කිරීම වර්තමාන පරපුරේ වගකීම බවත් අවධාරණය කළේය.

මෙම අනුස්මරණ දේශනය සඳහා දිවංගත ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරාගේ බිරිඳ වන රංජිනී ප්‍රනාන්දු මහත්මිය, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න හා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ, ත්‍රිවිධ හමුදා සේවයේ නියුතු සහ විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ විදේශීය රජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් පිරිසක් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක් සහභාගී වූහ.

Accessibility Tools