නැගෙනහිර නාවික ප්‍රදේශයේ නිලධාරීන් සහ පුහුණුවන නිලධාරීන්ගේ වෘත්තීය දැනුම හා නායකත්ව හැකියාවන් වර්ධනයට මෙහෙයුම් අත්දැකීම් හුවමාරු වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනාගත නායකත්වය ශක්තිමත් කිරීමේ අරමුණින්, නැගෙනහිර නාවික ප්‍රදේශයේ සේවයේ නියුතු නිලධාරීන් සහ පුහුණුවන නිලධාරීන්ගේ වෘත්තීය දැනුම, මෙහෙයුම් අවබෝධය සහ නායකත්ව හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීම සඳහා සංවිධානය කරන ලද “මෙහෙයුම් අත්දැකීම් හුවමාරු වැඩසටහනක්” 2026 ජූලි මස 04 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි.
දශක ගණනාවක් පුරා නාවික සේවයේ නිරත වෙමින් ලබාගත් මෙහෙයුම් අත්දැකීම්, ප්‍රායෝගික දැනුම සහ උපායමාර්ගික අවබෝධය අනාගත නාවික හමුදා නිලධාරීන් වෙත සම්ප්‍රේෂණය කිරීමේ අරමුණින්, ධජ නිලධාරී නාවික දියත් විධානය කොමදෝරු ධනේෂ් පත්බේරියගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
නාවික හමුදා නායකත්වයේ අනාගත වගකීම් භාර ගැනීමට සූදානම් වන තරුණ නිලධාරීන්ගේ වෘත්තීය සංවර්ධනය ශක්තිමත් කිරීමේ අඛණ්ඩ වැඩපිළිවෙළක කොටසක් වූ මෙම වැඩසටහන සඳහා ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් තිදෙනෙකු සම්පත් දායකයින් ලෙස එක්වූහ. ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන සහ නාවික අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ කොමදෝරු රොෂාන් අතුකෝරාල යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිය අත්දැකීම් බෙදාහදා ගන්නා ලදී.
එහිදි, මානුෂීය මෙහෙයුම් සමයේ ඔවුන් විසින් සෘජුව අත්විඳින ලද මෙහෙයුම් අත්දැකීම් ඇසුරින්, අභියෝගාත්මක මෙහෙයුම් පරිසරයන් තුළ නායකත්වය ප්‍රදර්ශනය කිරීම, ධෛර්යය හා අධිෂ්ඨානය පවත්වා ගැනීම, නිවැරදි තීරණ ගැනීම, අභියෝගවලට සාර්ථකව මුහුණදීම සහ වෘත්තීයභාවය ආරක්ෂා කර ගැනීම පිළිබඳ වටිනා අත්දැකීම් සහභාගී වූ නිලධාරීන් වෙත පැහැදිලි කරන ලදී.
මෙම වැඩසටහන මඟින්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්ගේ මෙහෙයුම් අත්දැකීම් සහ වෘත්තීය දැනුම අනාගතයේදී නාවික හමුදා නායකත්වයේ වගකීම් භාර ගැනීමට නියමිත නිලධාරීන් වෙත සම්ප්‍රේෂණය කිරීමට හැකි වූ අතර, එමඟින් ඉදිරියේදී මුහුණදීමට සිදුවන අභියෝගාත්මක මෙහෙයුම් අවස්ථාවන්හිදී නිවැරදි විනිශ්චය, කාලෝචිත හා වගකීම් සහගත තීරණ ගැනීමේ හැකියාව, වෙනස්වන තත්වයන්ට අනුවර්තනය වීමේ හැකියාව සහ උසස් සේවා කැපවීම වර්ධනය කර ගැනීම සඳහා මහඟු දායකත්වයක් ලබා දෙන ලදී.