Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

කතරගම පාද යාත්‍රාවට සහභාගි වන බැතිමතුන් සඳහා නාවික හමුදාව මඟින් ප්‍රජා සත්කාරක දායකත්වය

24 Jul 2026

උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්හි සිට ඓතිහාසික කතරගම දේවාලය වෙත වාර්ෂිකව සිදු කෙරෙන පාද යාත්‍රාව සඳහා සහභාගි වන බැතිමතුන්ගේ ආරක්‍ෂාව සහ සුභසාධනය තහවුරු කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්, 2026 ජූලි මස 10 සිට 24 දක්වා දකුණු සහ ගිණිකොන නාවික විධානයන්ගේ අධික්‍ෂණය යටතේ ප්‍රජාසත්කාරක සේවා වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩ සටහන යටතේ, කුමන ජාතික වනෝද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ පාද යාත්‍රා මාර්ගයේ ගමන් කළ බැතිමතුන් සඳහා අවශ්‍ය ආරක්‍ෂාව, මඟපෙන්වීම සහ විවිධ සුභසාධන පහසුකම් නාවික හමුදාව විසින් සපයන ලදී. එමෙන්ම, පානීය ජලය හා අත්‍යවශ්‍ය පහසුකම් සැපයීම, ජිවීතාරක්‍ෂක සේවාවන්, හදිසි අවස්ථාවලදී කඩිනම් සහය සහ මූලික ප්‍රථමාධාර ලබාදීම මෙන්ම ගමන් මාර්ගයේ ආරක්‍ෂිත පරිසරයක් පවත්වාගෙන යාම සඳහා නාවික හමුදා පුද්ගලයින් කැපවීමෙන් කටයුතු කරන ලදි.

දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ ආගමික වන්දනා ගමන ආරක්‍ෂිතව සහ පහසුවෙන් සිදුකර ගැනීමට අත්‍යවශ්‍ය සහාය ලබාදීම තුළින් ශ්‍රී ලංකා නාවික හමුදාව සිය සමාජ වගකීම් ඉටු කිරීමේ කැපවීම යළිත් තහවුරු කළ අතර, ජනතාවට සමීප මානුෂීය සේවාවන් ක්‍රියාත්මක කිරීමේ දිගුකාලීන සම්ප්‍රදායද මෙමඟින් තවදුරටත් තහවුරුවේ.

ජාතික ආරක්‍ෂාව සහ සමුද්‍රීය ආරක්‍ෂාව තහවුරු කිරීමේ ප්‍රධාන වගකීම්වලට අමතරව, ආගමික හා සමාජීය වටිනාකම් ආරක්‍ෂා කරමින් ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් මෙවැනි ප්‍රජාසත්කාරක වැඩ සටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරියටත් සිය දායකත්වය ලබාදීමට අපේක්ෂා කරයි.

Accessibility Tools