නාවික හමුදා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ පත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ 2026 ජුලි මස 01 වැනි දින සිට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් ඊට අදාළ පත්වීම් ලිපිය අද දින (2026 ජුලි 08) නාවික හමුදා මූලස්ථානයේදී, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වෙත නිල වශයෙන් ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.
කොළඹ, ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, 1992 වර්ෂයේදී ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 10 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක්වී ඇත. මූලික පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර, 1994 වර්ෂයේ වැඩ බලන උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්වන ඔහු, උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාලාව 1999 වර්ෂයේදී නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව හදාරා, සංඥා විශේෂඥ පාඨමාලාව 2002 වර්ෂයේදී ඉන්දීය නාවික හමුදාව වෙතින් හදාරා ඇත. චීනයේ නාවික අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන්, අණ හා මාණ්ඩලික පාඨමාලාවද, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යායතනය වෙතින් ජාතික ආරක්‍ෂක හා උපාය මාර්ගික අධ්‍යන පාඨමාලාවද, ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටෙරේ විශ්ව විද්‍යාලය වෙතින් ආරක්‍ෂක විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ ජාතික ආරක්ෂාව හා උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ දර්ශනපති උපාධිය සාර්ථකව සම්පූර්ණ කර ක්‍රමාණුකූලව උසස් වීම් ලබන ඔහු, 2024 වර්ෂයේ රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.
සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිලතල රාශියක් දරා ඇති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. තවද, ආඥාපති නාවික හා සාගරික විද්‍යාපීඨය, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස කටයුතු කර ඇති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් මෙන්ම, උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන්ද කටයුතු කරනු ලබන, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.
තවද , රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ පුහුණු කාල සීමාව තුලදී ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රගර් කණ්ඩාමේ නායකත්වය හොබවා ඇති අතර, වර්ථමාන ශ්‍රී ලංකා නාවික හමුදා රගර් සංගමයේ සභාපති වශයෙන්ද කටයුතු කරයි.
තිස් වසරකට ආසන්න කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදය පිටුදැකීමේ මානුෂීය මෙහෙයුම් සඳහා සක්‍රීයව දායකවී සතුරාට එරෙහිව සිදුකල නිර්භීත ක්‍රියා වෙනුවෙන් රණ වික්‍රම පදක්කමෙන් සහ රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, ඔහුගේ අගනා සේවය, නොකැළැල් චරිතය සහ රාජකාරියට කැපවීම වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන් පිදුම් ලබා ඇත. තවද, ඔහුගේ සේවය අගයමින් අවස්ථා අටකදී නාවික හමුදාධිපතිවරුන් විසින් ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කර ඇත.