Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

07 Jul 2026

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා 2026 ජූලි මස 01 වැනි දින සිට පත්කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා වෙත නිල වශයෙන් අද (2026 ජූලි 07) නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.

කොළඹ, ශාන්ත පීතර විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා, 1992 වර්ෂයේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 10 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක්වී ඇත. මූලික පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර, 1994 වර්ෂයේ වැඩ බලන උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්වන ඔහු, උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාලාව 1999 වර්ෂයේදී නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව හදාරා, ජලතරණය පිළිබඳ විශේෂඥ පාඨමාලාව 2002 වර්ෂයේදී ඉන්දීය නාවික හමුදාව වෙතින් හදාරා ඇත. චීනයේ නාවික අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන්, අණ හා මාණ්ඩලික පාඨමාලාවද, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යායතනය වෙතින් ජාතික ආරක්‍ෂක හා උපාය මාර්ගික අධ්‍යන පාඨමාලාව සහ ඔස්ට්‍රේලියාවේ වොලොන්ගොන් විශ්ව විද්‍යාලය වෙතින් සමුද්‍රීය ප්‍රතිපත්ති පිළිබඳ විද්‍යාපති උපාධිය සාර්ථකව සම්පූර්ණ කර වෘත්තීය ජීවිතයේ ක්‍රමාණුකූලව උසස් වීම් ලබන ඔහු, 2024 වර්ෂයේ ජනවාරි මස රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.

සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිලතල රාශියක් දරා ඇති රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. තවද, අණදෙන නිලධාරී විශේෂ යාත්‍රා බලඝණය, අධ්‍යක්‍ෂ නාවික පුද්ගල, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ලෙස කටයුතු කර ඇති රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත් වීමට පෙර නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කළ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.

තවද, රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් රගර්, මළල ක්‍රීඩා සහ බාස්කට්බෝල් ක්‍රීඩාවන්හි නිරත වී ඇත.

තිස් වසරකට ආසන්න කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදය පිටුදැකීමේ මානුෂීය මෙහෙයුම් සඳහා සක්‍රීයව දායකවී සතුරාට එරෙහිව සිදුකල නිර්භීත ක්‍රියා වෙනුවෙන් රණශූර පදක්කමෙන් නව වතාවක් පිදුම් ලබා ඇති රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා, ඔහුගේ අගනා සේවය, නොකැළැල් චරිතය සහ රාජකාරියට කැපවීම වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලබා ඇත.

Accessibility Tools