Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

10 වැනි දීර්ඝ සැපයුම් කළමණාකරන පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රීකුණාමලයේදී

26 May 2026

දිර්ඝ සැපයුම් කළමනාකරණ පාඨමාලා අංක 10 හී සහතික ප්‍රදානෝත්සවය 2026 මැයි මස 23 වැනි දින ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු දිනේෂ් බණ්ඩාරගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගි විය.

මෙහිදී, 10 වැනි දීර්ඝ සැපයුම් කළමනාකරණ පාඨමාලාව හදාරන ලද නිලධාරීන් වෙත නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් සහතික පත්‍ර ප්‍රධානය සිදු කෙරුණි. ලුතිනන් කොමාණ්ඩර් (සැ) ජීයූවයිආර් ජයවර්ධන පාඨමාළාවේ සියළුම අධ්‍යන විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නිලධාරිණිය ලෙසත්, ලුතිනන් කොමාණ්ඩර් (සැ) සීඑස් සේරසිංහ පාඨමාළාවේ නාවික සැපයුම් විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් සහ වඩාත් උද්යෝගයෙන් පාඨමාලාව සිදුකළ නිලධාරියා ලෙසත් ත්‍යාග හා කුසලාන හිමිකර ගන්නා ලදි.

සහතික ප්‍රදානයෙන් අනතුරුව අදහස් දැක්වූ නාවික හමුදාධිපති ප්‍රථමයෙන් සහතිකපත්ලාභී සියලු නිලධාරීන් හා නිලධාරිණියන් වෙත සිය හෘදයාංගම සුබාශිංසන පිරිනමන ලදී. තවද, අනාගතයේදී මෙහෙයුම් හා ආයතනික කාර්යක්ෂමතාවයට සෘජුවම බලපාන වගකීම් සහ මෙහෙයුම් සැලසුම් කිරීමේ මූලික වගකීම් ඔවුන් වෙත පැවරෙන බවත්, ඔවුන් ගනු ලබන තීන්දු තීරණ මත මෙහෙයුම් කටයුතු සෘජුවම ක්‍රියාත්මක වන බවත්, එමඟින් නාවික හමුදාවේ සමස්ත කාර්යක්ෂමතාවයට ද සෘජු බලපෑමක් ඇති වන බවද පවසන ලදි.

ශ්‍රී ලංකාව, ජාතිය නැවත ගොඩනැංවීමේ හා පරිවර්තනීය මාවතක ඉදිරියට ගමන් කරමින් සිටින බවත්, ඊට සමඟාමීව නාවික හමුදාව ශක්තිමත්, ප්‍රතිචාරශීලී සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක විය යුතු බවත්, දැනුම ක්‍රියාවට නැංවීමකින් තොරව එයට වටිනාකමක් ලබාදිය නොහැකි බවට අවධාරණය කළ නාවික හමුදාධිපති, සැපයුම් නිලධාරියෙකු ලෙස සිය රාජකාරිය නිවැරදිව හා වෘත්තීය මට්ටමින් ඉටු කිරීමට කැපවිය යුතු බවද සඳහන් කෙරිණි.

එමෙන්ම, මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කිරීම සඳහා කැපවීමෙන් දායකත්වය ලබාදුන් නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, උපදේශක කාර්ය මණ්ඩලය මෙන්ම බාහිර පාර්ශවයන් වෙතින් සම්පත් දායකත්වය ලබාදුන් සියලු දෙනා නාවික හමුදාධිපතිවරයා විසින් ගෞරවයෙන් සිහිපත් කරන ලදී.

Accessibility Tools