Sri Lanka Navy – Official Logo
EVENT NEWS › 2026

ත්‍රිකුණාමලය නාවික තටාකංගනයේ 3 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා නඩත්තු වැඩ‍පොළෙහී ස්ථාපිත L 12V 180 දෙමුහුන් එන්ජිමෙහි සමාකෘතිය විවෘත කෙරේ

08 Oct 2026

ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන්ගේ තාක්ෂණික දැනුම හා ප්‍රායෝගික නිපුණතාව ඉහළ නැංවීමේ අරමුණින්, ත්‍රිකුණාමලය නාවික තටාකංගනයේ 3 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා වැඩපොළ මඟින් දේශීයව නිර්මාණය කර වැඩි දියුණු කරන ලද L 12V 180 දෙමුහුන් එන්ජින් සමාකෘතිය (L 12V 180 Hybrid Engine Simulator) 2026 ඔක්තෝබර් මස 07 වන දින නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් නාවික තටාකාංගණයේ 3 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා නඩත්තු වැඩ‍පොළේදී විවෘත කෙරිණි.

කොමදෝරු අධිකාරි තටාකංගනය (නැගෙනහිර) කොමදෝරු ප්‍රියංකර දිසානායකගේ මඟපෙන්වීම යටතේ නිර්මාණය කර වැඩිදියුණු කර ඇති මෙම සමාකෘතිය මඟින් වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හී ප්‍රධාන එන්ජින් ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සහ මූලික දෝෂ හඳුනා ගැනීම, එහි ධාරිතාවය නිරීක්ෂණය කිරීම සහ අසාමාන්‍ය තත්ත්ව හඳුනා ගැනීම ඇතුළු ක්‍රියාකාරකම් පිළිබඳව පුහුණුව ලබාගැනීමට නාවික පුද්ගලයින්හට අවස්ථාව සැලසේ.

තවද, මෙහෙයුම් ක්‍රියාකාරිත්වයේ ඇති වේග ප්‍රහාරක මුර යාත්‍රාවක පවතින L 12V 180 දෙමුහුන් එන්ජිමක ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ගොඩබිමේ සිට ලබා ගැනීමට හැකිවීම තුලින් න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම භාවිතය අතර පරතරය අවම කරමින්, තාක්ෂණික දැනුම, දෝෂ නිරාකරණ හැකියාව සහ තීරණ ගැනීමේ හැකියාව ඉහළ නැංවීමට දායක වනු ඇත. එමෙන්ම, නාවික පුද්ගලයන් L 12V 180 එන්ජින් සහිත වේග ප්‍රහාරක මුර යාත්‍රාවන් වෙත අනුයුක්ත කිරීමට පෙර තාක්ෂණික හා නිපුණතා පාදක පුහුණුව ලබාදීම සඳහා ද මෙම සමාකෘතිය භාවිත කිරීමට අපේක්‍ෂා කෙරේ.

මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයින් පිරිසක් ද සහභාගී වූහ.

Accessibility Tools