Sri Lanka Navy – Official Logo

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ ඖෂධ පෙති තොගයක් සමග සැකකරුවෙක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

02 Jul 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ, 2026 ජුනි මස 30 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල ඖෂධ පෙති නව ලක්‍ෂ තිස්පන් දහසක් (935000) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ එක් සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින්, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ 2026 ජුනි මස 30 වැනි දින විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමේදි, මෙසේ සඟවාගෙන ප්‍රවාහනය කරමින් තිබූ ඖෂධ පෙති තොගය සොයා ගන්නා ලදි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වන කල්පිටිය කුරක්කන්හේන ප්‍රදේශයේ පදිංචි බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු, ඩිංගි යාත්‍රාව සහ ඖෂධ පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Accessibility Tools