Sri Lanka Navy – Official Logo

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඖෂධ සහ බීඩි කොළ තොගයක් කල්පිටියේදී නාවික හමුදාව විසින් සොයාගැනේ

11 Jul 2026

2026 ජූලි මස 10 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කීරිමුන්දලම වෙරළ ප්‍රදේශයේ සහ හලාවත කරුකපනේ ප්‍රදේශය ආශ්‍රීතව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සහ කරන ලද ඖෂධ තොගයක් සහ බීඩි කොළ තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය විසින් කල්පිටිය කීරිමුන්දලම වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් ලඳු කැලෑවක සඟවා තිබූ සැකකටයුතු පාර්සලයක් (01) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද ඖෂධ පෙති හැත්තෑ එක්දහස් නවසිය හැටක (71,960) පමණ තොගයක් නාවික හමුදාව විසින් සොයා ගැනීමට කටයුතු කෙරුණි. තවද, ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය වෙත ලද තොරතුරකට අනුව හලාවත කරුකපනේ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල විශේෂ සොදිසි මෙහෙයුමක් මඟින් ලඳු කැලෑවක සඟවා තිබූ සැකකටයුතු පාර්සල් දහයක් (10) පරීක්‍ෂාවට ලක්කෙරුණු අතර, එහිදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් හාරසිය එකක (401) පමණ තොගයක් නාවික හමුදාව විසින් සොයා ගැනීමට කටයුතු කෙරුණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදාව විසින් සොයා ගන්නා ලද ඖෂධ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිසිය වෙත සහ බීඩි කොළ තොගය හලාවත සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Accessibility Tools