පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ඇල්ලූ මත්ස්‍ය තොගයක් සමඟ සැකකරුවන් 03ක් මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 සැප්තැම්බර් මස 28 වැනි දින මන්නාරම සවුත්බාර් කළපු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මත්ස්‍යයින් තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ කුඩා යාත්‍රාවක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය විසින් සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, මන්නාරම සවුත්බාර් කළපු ප්‍රදේශයේ සැකකටයුතු යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන කිලෝ ග්‍රෑම් තුන්සියයක (300) පමණ මත්ස්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 20 හා 64 අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් තිදෙනෙකු (03) සහ එම කුඩා යාත්‍රාව මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නීතියේ රැහැනට හසුකර ගත් සැකකරුවන්, කුඩා යාත්‍රාව සහ මත්ස්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.