EVENT NEWS › 2026

වෙළඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ නාවික හමුදා මෙහෙයුම් කටයුතු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්‍ෂණයට ලක් වෙයි

21 Oct 2026

වෙළඳ නෞකාවන්ගේ ආරක්‍ෂාව සඳහා ආරක්‍ෂක කණ්ඩායම් යොදවනු ලබන විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්‍ෂක සමාගම් වෙත, ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සිදුකරණු ලබන පහසුකම් සැපයීමේ මෙහෙයුම් (Onboard Security Team - OBST) වෙනුවෙන්, එම සමාගම් සතු අවි හා උපාංග ගබඩා කරනු ලබන, ගාල්ල පෙට්ටිගලවත්ත අවි ගබඩා සංකීර්ණය නිරීක්‍ෂණය සඳහා, ඔක්තෝබර් 20 ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සමඟ සහභාගී විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්‍ෂක සමාගම් සමඟ ගිවිසුම්ගත වෙමින්, වෙළඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් කටයුතු (Onboard Security Team - OBST) ස්වාධීනව සිදුකිරීම 2025 ඔක්තෝබර් මස 03 වන දින ආරම්භ කරනු ලැබීය. නාවික හමුදාව විසින් ගත වු වසරක කාලයක් තුල දී සිදුකල සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් මඟින් ආසන්න වශයෙන්, ඇමරිකානු ඩොලර් තිස් තුන් ලක්ෂ විසි දහසකට අධික (රුපියල් කෝටි 106 ක් පමණ) විදේශීය විනිමය ආදායමක් ජාතික ආර්ථිකය සඳහා ලබා දීමට සමත්වී ඇත. ආරක්‍ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මනා සැලසුමකින් යුතුව සිදුකෙරෙණ මෙම මෙහෙයුම් යටතේ මේවන විට දේශීය නියෝජිතයින් දස දෙනෙකු මඟින් විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්‍ෂක සමාගම් විසි අටක් සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් අවශ්‍ය පහසුකම් සහ සේවාවන් ලබා ගැනීම සිදුකරනු ලබයි.

ඒ අනුව, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ගාල්ල පෙට්ටිගලවත්ත අවි ගබඩා සංකීර්ණයේ සිදුකල නිරීක්‍ෂණ චාරිකාවේදී වෙළඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් නාවික හමුදාවේ කාර්යය භාර්යය සහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බලනු ලැබීය.

නෞකා ආරක්‍ෂක කණ්ඩායම් වෙනුවෙන් පහසුකම් සැපයීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් ස්වාධිනව සිදුකිරීම ආරම්භ කර, කෙටි කාලයක් තුල විශාල මෙහෙයුම් සංඛ්‍යාවක් සාර්ථකව සිදුකරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සිදුකල දායකත්වය එහිදී ඇගයීමට ලක්කල ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, එම මෙහෙයුම් කටයුතු කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙස සිදුකිරීමට අවශ්‍ය උපදෙස් දෙනු ලැබීය. තවද, මෙම අවස්ථාව සඳහා ජනාධිපති උපදේශක (නීති කටයුතු) ජ්‍යෙෂ්ඨ නීතීඥ, ජේඑම් විජේබණ්ඩාර මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සිවිල් ආරක්ෂක සහ සංවර්ධන), ආරක්ෂක අමාත්‍යාංශයේ සහ නාවික හමුදාවේ ජේෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

මාධ්‍ය අනුග්‍රහය - www.defence.lk

Accessibility Tools