‘ජාතික මල්ලව පොර ශූරතාවලිය - 2022’ තරඟාවලියේ සමස්ථ පිරිමි ශුරතාවය අඛණ්ඩව 12 වන වරටත් ශ්‍රී ලංකා නාවික හමුදාව දිනා ගනියි

‘ජාතික මල්ලව පොර ශූරතාවලිය - 2022’, ජනවාරි මස 22 සහ 23 යන දිනයන්හී මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවත් වූ අතර, එහි පිරිමි අංශයේ සමස්ථ ශුරතාවය අඛණ්ඩව 12 වන වරටත් ශ්‍රී ලංකා නාවික හමුදාව දිනා ගැනීමට සමත් විය.

මෙම තරඟාවලිය සඳහා දිවයිනේ ක්‍රීඩා සංගම් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වී සිටි අතර, එහි පිරිමි අංශයේ සමස්ථ ශූරතාරවය ශ්‍රී ලංකා නාවික හමුදා මල්ලවපොර ක්‍රීඩා සමාජය දිනාගත් අතර, එහි අනුශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය දිනා ගන්නා ලදී. මෙම තරඟාවලියේ කාන්තා අංශයේ ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හිමි වූ අතර, එහි අනු ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාව දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, පිරිමි අංශය නියෝජනය කරමින් සහභාගි වූ නාවික හමුදා ක්‍රීඩකයින් සමස්ථ ශුරතාවලියේ දී රන් පදක්කම් 03ක් රිදි පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කම් 04ක් සමඟින් 2022 ජාතික මල්ලවපොර ශුරතාවයට හිමි කුසලානය ශ්‍රී ලංකා නාවික හමුදාවට හිමිකර දීමට සමත් වූ අතර, කාන්තා අංශය නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩිකාවන් රන් පදක්කම් 02ක් රිදි පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 02ක් සමඟින් ජාතික මල්ලවපොර ශුරතාවලියේ කාන්තා අංශයේ අනුශුරතාවයට හිමි කුසලානය ශ්‍රී ලංකා නාවික හමුදාවට හිමි කර දෙන ලදී.

මෙම තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සබරගමු පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහතා, ජාතික මල්ලවපොර සංගමය නියෝජනය කරමින් එහි නියෝජිතයින්, නාවික හමුදා මල්ලව පොර සංචිතය නියෝජනය කරමින් එම සංචිතයේ සභාපති, කොමාණ්ඩර් කේකේඑන් පුෂ්පකුමාර ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

තවද, නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදාවේ සියළුම ක්‍රීඩා සංචිතයන්ගේ පහසුකම් වැඩි දියුණු කිරීම සහ පුහුණු විශේෂඥයන්ගේ දායකත්වය ලබා දීමට කටයුතු කිරීම, නාවික හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රයේ නව ප්‍රබොධයක් ඇති කිරීමටත්, ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට අත්පත් කර ගැනීමටත් හැකියාව ලැබි ඇත.